2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා

ලසිත් මාලිංගත් තීන්දුවක් අරන්

 2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා, පෙ.ව. 12:00 72

ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රවීණතම වේගපන්දු යවන්නා වන ආබාධයකට ලක්ව සිටින ලසිත් මාලිංග ඉදිරියේදී විස්සයි20 තරගවලට පමණක් සහභාගි වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ මාලිංග එක්දින තරගවලින්  සමුගැනීමේ අවදානමක් මතුවී ඇති බව දැනගන්නට තිබේ. 
මාලිංග ලබන ජනවාරි මස දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියට සහභාගි වීමේ සූදානමින් සිටින බව වාර්තා වේ.
ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින මාලිංග ආබාධයකට ලක්වීමට පෙර එක්දින සහ විස්සයි20 තරගවලට සහභාගි වුවද මේ වන විට විස්සයි20 තරගවලට පමණක් සහභාගි වීමට තීරණය කර තිබේ.
මාලිංගගේ ආබාධය මේ වන විට සුව අතට හැරෙමින් තිබෙන බවත් ඔහු පුහුණුවීම්වලදී පන්දු යවන බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය. 
මාලිංගගේ සේවය එක්දින තරගවලට ලබාගැනීමේ උත්සහයක ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිරතව සිටින අතර එක්දින තරගවලට සහභාගි වීමට ඔහු කැමැත්ත පළකර නොමැති බව කියයි.
තිලකරත්න ඩිල්ෂාන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගත් පසුගිය 9 වැනිදා ආර්. ‍ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේදී  ඕස්ෙට්‍ර්ලියාවට එරෙහිව පැවැති අවසන් විස්සයි20 තරගයට ක‍්‍රීඩා කිරීමට මාලිංග සූදානම් වුවද අවස්ථාව නොලැබුණි. එහිදී මාලිංග කියා තිබුණේ කකුල කැඩී ගියත් ඩිල්ෂාන් වෙනුවෙන් ක‍්‍රීඩා කරන බවයි.  
ඉන්දියාවේදී පසුගිය අප්‍රේල් මස අවසන් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ආබාධයකට ලක්වූ දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ද මේ වන විට සුව තත්ත්වයට පත්ව පන්දු යැවීම ආරම්භ කර තිබේ. වැන්ඩසේ පන්දු රකිමින් සිටියදී පන්දුවක් දකුණු අතේ වෙදඟිල්ලේ වැදීමෙන් කැඩීමෙන් පන්දු යැවීමට නොහැකි තත්ත්වයට පත්ව සිටියේය. 
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප‍්‍රධානතම වේගපන්දු යවන්නන් බවට පත්ව සිටි ධම්මික ප‍්‍රසාද් සහ දුෂ්මන්ත චමීර ආබාධයන්ට ලක්ව සිටින අතර දුෂ්මන්ත මේ වනවිට සුවය ලබමින් සිටී. දෙසැම්බර් මස ආරම්භ වන දකුණු අප‍්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරගාවලියට සහභාගිවනු ඇති බවට විශ්වාසයක් තැබිය හැකිය. 
ප‍්‍රවීණතම වේග පන්දු යවන්නා වන ධම්මික ප‍්‍රසාද් දකුණු උරහිස ප‍්‍රදේශයේ මස් ඉරීමේ ආබාධයට ශල්‍යකර්මයක් කිරීමට ඉදිරි දිනවලදී  ඕස්ෙට්‍ර්ලියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ. ධම්මික ප‍්‍රසාද් වසර කීපයක සිට අවස්ථා හතරකදී පමණ තරගාවලිය ඔහු ආරම්භ වීමට පෙර ආබාධයන්ට ලක්වීමෙන් ඉවත්වීමට සිදුවිය. 
දකුණු අප‍්‍රිකානු සංචාරයේ පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් මස 26 වැනිදා ආරම්භ වේ. මෙම සංචාරයට විස්සයි20 තරග තුනක් ඇතුළත් වන අතර පළමු තරගය ජනවාරි මස 20 වැනිදා පැවැත්වේ.  

I සටහන: යොහාන් භාසුර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00